Christmas

 


නත්තල් දිනය වනාහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් පවතින , ලොවපුරා සිටින කිතුනුවන්ගේ උතුම් උත්තරීතර  දිනයකි.

"Peace on Earth, Goodwill to All"   පෘථිවියේ සාමය, සියලු මිනිසුන්ට මිතුරකම යන්න තේමා කොට ගනිමින්  මෙවර නත්තල සමරනු ලබයි. විවිධ සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර සහ සැමරුම් සමඟින් මිලියන සංඛ්‍යාත කිතුනුවන් මෙන්ම  ක්‍රිස්තියානි නොවන  අය පවා නත්තලේ අසිරිය විඳීමට ප්‍රිය කරති 

 නත්තල් දිනය සාම්ප්‍රදායිකව සීතල  දෙසැම්බරයේ 25 වන දින සමරනු ලබන අතර, කිතුනුවන් විසින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරුවා ලෙස සලකන *ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත මින් සනිටුහන් කරයි.නත්තල යන වදන, "නතාල" නම් පෘතුගීසි වචනයෙන් ද "නතාලිස්" නම් ලතින් වචනයෙන් ද බිඳී පැමිණි බව විශ්වාස කරයි. එම වචන වලින් "උපත" යන අර්ථය ලබා දෙනු ලබයි.

දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රියේදී ජේසු කුමරුන් ගව ලෙනක උපන් බව සැලකෙන අතර  උන්වහන්සේගේ මව මරිය තුමිය නම් වන අතර පියා ජුසේ තුමාණන් වේ.

ජන සංගණනයකට බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී ගවලෙනක් තුළ ජේසු බිලින්දාගේ උපත සිදු වී ඇත.

 ජේසුස් වහන්සේ යනු මනුෂ්‍යත්වය ලබා ගත් දේව පුත්‍රයා වේ.එතුමාගේ මනුෂ්‍යයෙකු ලෙස ඉපදීම නත්තල් උත්සවයේ දී සමරනු ලබයි.

 නත්තල් සමරුව ඇරඹීමේ කතාව සමග දැඩි සබඳතාවක් පෙන්වන්නේ ස්කැන්ඩිනේවියානුවන්ගේ යූල්(Yule) උත්සවය යි. ( යූල් උත්සවය යනු කිතු උපතට සියවස් ගණනාවකට පෙර පටන් පැවති ශීත ඍතු උත්සවයකි. මේ උත්සවයේ දී සමරනු ලැබූයේ තෝර් නමැති දෙවියන් ය. තෝර් දෙවියා ගිගිරුමට අධිපති දෙවියා යැයි ස්කැන්ඩිනේවියානුවන් තුළ විශ්වාසයක් පැවතුණි. පිරිමි සතුන් හා වහල් මිනිසුන් බිලි දෙමින් යූල් කඳන් පිළිස්සීම මේ උත්සවයේ දී සිදු විය. උත්සවය අවම වශයෙන් දින 12ක් වත් පැවතුණි. මේ ගිනි තැබීම්වල දී ඇති වන සෑම ගිනි පුළිඟුවකින් ම අලුතෙන් ඌරු පැටවෙකු හෝ වසු පැටවෙකු උපදින බවට ඔවුන් තුළ විශ්වාසයක් පැවතුණි). යුරෝපයේ කිතු සමය පැතිර යාමත් සමග ස්කැන්ඩිනේවියානුවන්ගේ ආගමික විශ්වාස තරමක් දුරට යටපත් වුව ද ඔවුන්ගේ ආගමික උත්සව හා බැඳි ඇවතුම් පැවතුම් හි විශාල වෙනසක් වූයේ නැත. ඒ වෙනුවට ඒ ඇවතුම් පැවතුම් කිතු දහම හා සම්බන්ධ වී නව මුහුණු වරක් ගත්තේය. එහෙත් නත්තලේ උපතට සපුරාම බලපෑවේ යූල් උත්සවය නොවන බව ද සිහි තබි ගත යුතු වේ. අරුත් සුන් උත්සව පවත්වනු වෙනුවට ලෝකයට නව දර්ශනයක් හඳුන්වා දුන්, මිනිසුන්ට නව බලාපොරොත්තු සපයා දුන් උත්තමයෙකුගේ උපතක් සැමරීමේ වැදගත්කම මෙහිදී මුල් වී ඇත.

කිතු සමිඳාණන් උපන්නේ නිශ්චිත වශයෙන් ම දෙසැම්බර් මස විසි පස්වන දින යැයි මතයක් බහුතරයක් ලෝ වැස්සන් අතර දැන් ඇතත් මේ වනාහි අතිශය විවාදයට තුඩු දුන් මතයකි. ශුද්ධ වූ බයිබලයේ පවා මේ පිළිබඳ පැහැදිලි අදහසක් නැත. කිතු උපත සම්බන්ධව ශුද්ධ බයිබලයේ මතෙව් හි ලූත් ගේ සාක්ෂිවල පරස්පරතා පවතී. එය කිතු දහමේ මුඛ්‍ය ඉගැන්වීම්වලට තදින් අදාළ නොවන නිසා මේ පිළිබඳ විග්‍රහ කෙරී නැත. සාමය, සමානාත්මතාව හා සහජීවනය පදනම් කරගත් කිතු සමය තුළ කිතු උපත පිළිබඳ දැඩි තර්කයක් නැත. අනෙක් කරුණ නම් ලෝකයේ සෑම ආගමක ම, දර්ශනවාදයක ම, ඇදහිල්ලක ම, විශ්වාසයක ම ඓතිහාසික තොරතුරුවල සදොස් තැන් තිබේ. ඒවා ද මේ ලෙස ම ඒවායේ මුඛ්‍ය අරමුණට අදාළ නොවන නිසා තර්කයට බඳුන් කිරීමේ ඵලක් නැත.

යොෂුවා- බෙන්- යෙසුෆ් (Yehoshua Ben Yosef)හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකයේ අති බහුතරයක් කිතුණුවන් සමරන්නේ දෙසැම්බර් විසිපස්වන දිනයි. උන්වහන්සේ උපන්නේ දෙසැම්බර් විසි හතරවැනි දින මධ්‍යම රාත්‍රියේ දී ය. ඊට අනුව විසිපස්වන දිනය සමරු දිනය සේ සලකයි.

මේ කෙසේ වුවත් සැබෑ නත්තල හෙවත් කිතු උපත සිදු වූයේ දෙසැම්බර් මස විසි පස්වන දිනයේ දී ය යන්න නිල වශයෙන් ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ක්‍රි.ව.දෙසිය හැත්තෑතුනේ දී පමණය .කිතු උපතින් සියවස් කිහිපයක් යනතුරුත් කිතුනු සමාජයේ නත්තල් උත්සවය උත්සවාකාරයෙන් පවත්වා නැත.එයට හේතුව උපන්දින සමරන්නන් මිත්‍යා දෘෂ්ටිකයන් සේ ජුදා වරුන් විසින් විශ්වාස කිරීමයි.ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිර යාම වේගවත් වීමත් සමග යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සව වල ද ආභාෂය ලබා නත්තල් උත්සවය බිහි විය.සෑම වසරකම දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දේවස්ථානයට රැස්වන කිතුනු බැතිමතුන් ජේසු උපත උත්සවාකාරයෙන් සමරනු ලබයි.

නත්තල් උත්සවයට දින ගණනාවකට පෙර කිතුනු බැතිමතුන් ඉතා ආශාවෙන් සූදානම් වේ .එනම් දේවස්ථානය හා නිවස සැරසීම,ගවලෙන් සෑදීම හා නත්තල් ගස් අලංකාර කිරීමආදිය වේ.

එම දිනට අලුත් ඇඳුම් පැළඳුම්වලින් සැරසීම මෙන්ම, ප්‍රණීත ආහාරපාන පිළියෙල කිරීම ද ඔවුන්ගේ චාරිත්‍රයකි.

 ඒ වගේම මේ කාලයේ දක්නට ලැබෙන විශේෂ චාරිත්‍ර වන්නේ,දුප්පතුන් සදහා දානමාන දීම, කුඩා දරුවන් වෙනුවෙන් තෑගි බෝග හා ඇඳුම් පැළඳුම් බෙදා දීම ය. එසේමඑදිනට දුගී ජනතාවට ආහාර පාන, ඇඳුම් පැළඳුම් මෙන් ම තෑගිබෝග බෙදාදීම සිදු කරයි.

නත්තලට බොහෝ දෙනා සුබපැතුම්පත් හුවමාරු කර ගනු දක්නට ලැබෙන අතර මෙම උත්සව සමයේ නත්තල් කැරොල් ගී,නත්තල් නාට්‍ය හා නත්තල් ආශ්‍රිත චිත්‍රපට දකින්න ලැබේ.

නත්තල් ගස නත්තලෙහි අසිරිය පෙන්නුම් කරන  වැදගත් සංකේතයකි. පුරාණ මිනිසුන් අතර පැවති වෘක්ෂ වන්දනයෙන් ප්‍රභවය වූවකි. ක්‍රිස්තුන් වහන්සේ හා නත්තල් ගස සේ යොදා ගන්නා ගස අතර සබඳතාවක් නැත. 1835 වර්ෂයට අයත් ලියවිල්ලක Christmas Tree යන වදන මුල් වරට හමු වේ. නත්තල ඇරඹීමට පෙර පටන් පැවති යූල් උත්සවයේ දී යූල් ගසට විශේෂත්වයක් හිමි වීම ද මේ නත්තල් ගස නත්තලට විශේෂ වීම කෙරේ බලපාන්නට ඇත.

කැරොල් ගායනාද නත්තල්ට සුවිශේෂ වූ අංගයකි .ග්‍රීකයන් රවුම සෑදී සංගීතයක් නොමැතිව ම ගැයූ කෝරස් (Choros) ගායනයෙන් කැරෝල් බිහි වන්නට ඇති නමුදු මුල් කාලීන පල්ලිය විසින් මෙය තහනම් කරන ලදී.විවිධ මතවාද, මතභේදවලට තුඩු දුන් කැරොල් 17 වන සියවසේ ඇමරිකානු රටවල දී දැඩි බාධකවලට ලක් විය. මේ කාලයේ මේ රටවල දී නත්තල හා නත්තලට සම්බන්ධ සෙසු උත්සව ද අභියෝගයට ලක් විය. එහෙත් මහා ගත්කරු චාල්ස් ඩිකන්ස් විසින් Christmas Carol කෘතිය කර 1843 දී ප්‍රකාශයට පත් කළ පසු කැරොල් යළි ජීවය ලැබීය. දැනට පවතින කැරොල් ගායනා රැසක් ම මේ කාලයෙන් පසු නිර්මාණය වූ ඒවා සේ පිළිගැනේ.

නත්තල් සීයා යන සංකල්පයද නත්තල හැඩ කරන තවත් අංගයකි.නත්තල් සීයා ලෙස බොහෝ දෙනා හදුන්වන්නේ 14 වන සියවසේ ටර්කි හි ජීවත් වූ නිකලස් නම් පුද්ගලයෙක්වේ.(මොහු නත්තල් කාලයේදී තමාගේ පෞද්ගලික මුදල් වියදම් කර තෑගි බෝග ගෙන අසරණ දුගී දුප්පත් පවුල් වල සිටින් ලමයින්ට බෙදා හරියි. ඔහු මෙය සිදුකලේ රහසිගතවය. එනම් රාත්‍රී කාලයේදී එම නිවෙස්වල දුම් කවුළුවලින් රහසින්ම නිවස වෙත ගොස් තෑගි බෝග තබා යාමයි. නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය මෙයයි.

 වර්තමානයේ දී ඇතැම් පිරිස් නත්තල ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි.නමුත් අප නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.ලෝකයට සාමයේ පණිවිඩය ලබා දුන් දිනය,නත්තල් දිනයයි.අද දිනයේද ඒ උතුම් වු නත්තල් උදාව සමරන තවත් එක් දිනයකි.සාමයේ පනිවිඩය ලොවටම බෙදා දුන් ඒ දිනයේදී ලෝකවාසී සියල්ලෝ සාමයෙන් සතුටින් සිටීවා යන්න  නත්තල් දිනයේ පැතුමයි.


Article By:- buddhika Chathurangani

  

 


 



      

      

Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day