World Suicide Prevention Day

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය
World Suicide Prevention Day 




කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස දකින්නේ යම් සේද,මිනිසෙක්ව බව කතර තුළ ආත්ම ගතවීම එවන් දුර්ලභ කාරණාවක්. වර්තමාන ලෝකයත් සමඟ ගැටෙන මිනිස් ජීවිත සඳහා අත්‍යාවශ්‍යම ආරක්ෂක අවිය වන්නේ මානසික ඒකාග්‍රතාවයයි. ශාරීරික හෝ මානසික වශයෙන් ඇතිවන ප්‍රබල බලපෑම් පුද්ගල හැඟීම් සමඟ උරෙන් උර ගැටෙනු ලබයි. උප්පත්තියේ සිට මරණය දක්වා සමබර මනසකින් යුතුව ක්‍රියා කළ හැකිනම් එය ජීවිතයට මහත් ආශිර්වාදයකි.

පවුල් පසුබිම,සෞඛ්‍ය ගැටළු,ආදරය, අධික කාර්යබහුලත්වය මෙන්ම විවිධාකාරී මිනිස් ප්‍රශ්න අලලා ඇතිවන අසමතුලිත මානසික තත්ත්වයන් සියදිවි නසා ගැනීම් තුළින් කෙළවර වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් ප්‍රබල වේ. සංඛ්‍යා ලේඛන වලට අනුව ගෝලීය අර්බුධය වන්නේ සෑම වසරකම 700,000කට අධික පිරිසක් සියදිවි නසා ගැනීමෙන් මියයාමයි. ඒ තුළත් වයස අවු: 15-29 අතර තරුණ පිරිසක් සිටීම ඉතා කණගාටුදායක තත්ත්වයයි. බොහෝ සෙයින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම  සඳහා කාලෝචිතව මැදිහත්වීම,සමාජය දැනුවත් කිරීම,මානසික සෞඛ්‍ය සම්පත් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම,  ක්ෂණික ඇමතුම් හා උපදේශන සේවා සම්බන්ධ උපකාර ලබාදීම තුළින් ඵලදායී වෙනසක් අපේක්ෂා කළ හැකිය.

පුද්ගලයෙකුගේ සතුට පිටස්තර දෑත් මත රඳා නොපවතින බවත් එය තමා තුළම තමාට ජීවය දෙන බවත් මිනිස් මනසට කාවැද්දිය යුතුය.වර්තමානය තුළ බොහෝ කාව්‍ය,නවකතා, සිනමා සංකල්ප ආදී නව නිර්මාණ ලොවට බිහිවන්නේ මිනිසාගේ අතීත මානසික අවපීඩනයන් තුලනය කරමින්ය.ජීවිතය තුළ විඳවීම නොව විඳීම ඉතා රසවත්ය. එයට දිගු ගමනක් යාමට සිදුවිය හැකි නමුත්,සියදිවි නසා ගැනීම වැනි කෙටි මාර්ග කිසිසේත්ම සුදුසු නොවේ. කණ කැස්බෑවෙකුට හමුවන දුර්ලභ අහස අපිට හිමිවී නොවේද?එබැවින් ජීවිතය දිනුවේ අප ඉපදුන දිනයි.

ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය (WSPD) වාර්ෂිකව සැප්තැම්බර් 10 වන  දින සමරනු ලබන්නේ ලොව පුරා ගෝලීය වේදිකාව අතික්‍රමණය කරනු ලබන සියදිවි නසා ගැනීම් ලොවෙන් තුරන් කිරීම උදෙසාය.එය සියදිවි නසා ගැනීම් වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IASP)  විසින් ආරම්භ කරන ලද අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)  එයට සම අනුග්‍රහය දක්වයි.මෙදිනට සියදිවි නසා ගැනීම නිසා විපතට පත් වූවන්ට ගෞරව කිරීම සඳහා බොහෝ සංවිධාන පාගමන්,සාකච්ඡා,වැඩමුළු සහ ඉටිපන්දම් දැල්වීම වැනි කටයුතු පවත්වනු ලබයි.

මවක් තම ලෙයින් ජීවිතයම පරදුවට තබා බිහි කරන ජීවයට නිගා නොකොට ආත්ම ශක්තියෙන්, ආත්ම විශ්වාසයෙන් ජීවිතයේ යථා අවබෝධය සාක්ෂාත් කරගන්නේ නම් මිනිසෙකු ලබන ජීවිත සැනසීම එයයි. අත්හැරෙන,ගැටෙන පීඩන දහසක් මැද නිවෙන,සැනහෙන එකම විකල්පය ගැටළු ගැටළුවක් කර නොගනිමින් ජීවත් වීමයි.


Article By :- Leo Nelum Hansika


Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day