ලෝක ජල දිනය
ලෝක ජල දිනය - මාර්තු 22💦
World Water Day
මිහිතලයේ ජීවය රඳා පැවැත්මේ මූලික සාධකය සූර්‍ය ශක්තියයි. පෘථිවි තලය මත සිදු වන සියළු ක්‍රියාවලින් සඳහා සූර්‍ය ශක්තිය හැරුණු කොට ජලය ද සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි. මිහිතලය මත වාසය කරන සියලු සත්තව වංශයන්හි පැවැත්ම කෙරෙහි ජලය සෘජු බලපෑමක් එල්ල කරයි. සූර්‍ය ශක්තිය , ජලය හා ජීවීන් අතර මනා අන්තර් සබඳතාවන් ක්‍රියාත්මක වේ.
1993 වර්ෂයේ දී සැමරුම් දිනයක් වශයෙන් ජල දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. වර්ෂ 1997 සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කරන තේමාවන් යටතේ සිය සාමාජික රටවල් ජල දිනය සමරනු ලබයි. තිරසාර සංවර්ධිත ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේදී මිරිදිය ජල සම්පතට වන හානිය අවම කිරීම, සාගරික ජීවීන්ගේ ජෛව විවිධත්වය සුරැකීම සහ සාගරික ජල දූෂණය වැලැක්වීම , පාරිසරික අභියෝගයන් ජය ගැනීම ආදී තේමාවන් කෙරෙහි අවධානය යොමු වේ. පෘථිවි තලයේ සමස්ථ ධාරිතාවයෙන් වැඩි කොටසක් ජලයෙන් පිරී පැවතිය ද පානය සඳහා සෞඛ්‍යාරක්ෂිත ජලය ලෙස භාවිතා කල හැක්කේ ඉතා සීමිත කොටසකි. අනාරක්ෂිත ජල මූලාශ්‍රයන් මඟින් ලබා ගන්නා ජලය පානය කිරීම හේතුවෙන් වාර්ෂිකව ලෝක ජනගහනයෙන් මිලියන 1.4කට ආසන්න පිරිසක් මිය යයි. එමෙන්ම ආයු අපේක්ෂාව පහළ බැසීම කෙරෙහි ද අපිරිසිදු ජලය පානය හේතු සාධකයක් වේ.
_ජල දිනය සැමරුම් දිනයක් වශයෙන් නම් කිරිමේ වටිනාකම් කෙබඳු ද?_
මානව වංශය හුදෙක් පෘථිවි තලයේ හිමිකරුවන් නොවන අතර පෘථිවි තලය මත ජීවය පවත්වා ගෙන යනු ලබන එක් ජීවී කාණ්ඩයක් පමණක් වේ. මිහිතලයේ ජීවය ආරක්ෂා වනුයේ මානව වංශයේ පැවැත්මේ අඛණ්ඩතාවය මත නොවේ. සියළු සත්ව වංශයන් හි පැවැත්ම සුරක්ෂිත වීම තුළ මිහිතලයේ ජීවය ආරක්ෂා වේ.
සංවර්ධිත ඉලක්කයන් කරා වේගයෙන් හඹා යන නූතන දිශානතින් තුළ ජලයේ ගුණාත්මකභාවය කෙරෙහි සංවේදී නොවන තත්ත්වයන් නිර්මාණය වේ. ඒ තුළින් විවිධ දේශගුණ විපර්යාස ඇති වීම සහ ජීවීන්ගේ පැවැත්මට සෘජු බලපෑම් ඇති වීම සිදුවේ. මෙම තත්ත්වයන් අවම කර ගනිමින් ජල සම්පත සුරක්ෂිත කරලීමට පියවර ගැනීම ජල දිනය සැමරීම තුළින් අපේක්ෂා කෙරේ.
' සාමය සඳහා ජලය ' යන තේමාව පදනම් කර ගනිමින් මෙවර ජල දිනය සමරනු ලබයි. ආරක්ෂිත ජල ප්‍රවේශයන් ලබා ගැනීමට නොහැකිව පීඩනයට ලක් වන බිලියන 2.2 ජනතාවට සහ සියළු සත්ව ප්‍රජාවන්ට ආරක්ෂිත ජල ප්‍රවේශයන් කෙරෙහි යොමු වීමට සහය වීම මනුෂ්‍ය වර්ගයාගේ වගකීමයි. මන් ද ජල සම්පතෙහි විනාශය සියළු ප්‍රාණීන්ගේ සහ මිහිතලයේ විනාශය වන බැවිනි.
Article By:- Leo Sanduni Bhagya

Comments
Post a Comment